දශකයකට පසු මෙරට ආර්ථිකය යළි ස්ථාවර මාවතකට

මහ බැංකු වාර්තාවලට අනුව, වසර දහයක කාලසීමාවකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබේ. 2015-2018 සමයේ මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කළ ද, රාජ්‍ය වියදම් පාලනයකින් තොරව ඉහළ යාම හේතුවෙන් අයවැය හිඟය සැලකිය යුතු ලෙස වර්ධනය විය. එම කාලවකවානුවේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% සිට 7% දක්වා ඉහළ අගයක පැවතීම මූල්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කළ සාධකයක් විය.​කෙසේ වෙතත්, 2019 වසරේ සිට 2022 දක්වා කාලය මෙරට ආර්ථික ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් ලෙස සටහන් විය. අදූරදර්ශී ආර්ථික කළමනාකරණය සහ වැරදි ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් විදේශ විනිමය සංචිත සිඳී ගිය අතර, එය 2022 වන විට දැඩි ආර්ථික අගාධයක් දක්වා නිර්මාණය විය. රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම, ඉන්ධන හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ උද්ධමනය අහස උසට නැගීම නිසා ජන ජීවිතය මෙන්ම දළ දේශීය නිෂ්පාදිතය ද බරපතල ලෙස කඩා වැටුණි.​මෙම අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ දැඩි මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය. රජය විසින් හඳුන්වා දුන් නව මූල්‍ය කළමනාකරණ උපායමාර්ග හරහා රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමටත්, වියදම් පාලනය කිරීමටත් පියවර ගැනුණි. මෙහි ප්‍රථිපලයක් ලෙස පසුගිය වසර කිහිපය තුළ පැවති දැඩි අස්ථාවරත්වය ක්‍රමයෙන් සමනය වීමට පටන් ගත්තේය.​වර්තමානය වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධන වේගයක් පෙන්නුම් කරන බව මහ බැංකු දත්ත තහවුරු කරයි. මීට පෙර 8% ක්ව පැවති අයවැය හිඟය මේ වන විට 2% දක්වා අවම කර ගැනීමට හැකි වී තිබීම විශේෂ ජයග්‍රහණයකි. මූල්‍ය විනය පවත්වා ගැනීම හරහා ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත් වී ඇති අතර, එය ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සුබදායී පෙරනිමිත්තක් වී තිබේ.​දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ද ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ. 2024 වසරේ වාර්තා වූ 5% ක වර්ධන වේගය 2025 වසර තුළ ද ඒ අයුරින්ම පවත්වාගෙන යාමට හැකි වීම තුළින් පෙනී යන්නේ මෙරට ආර්ථිකය යළිත් නිවැරදි දිශානතියකට යොමු වී ඇති බවයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය පණගැන්වීම හරහා මෙම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *