බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරී ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපිය ඒ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨයෙකු වන අපොන්සු මහතා මීට පෙර ජනාධිපති කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස වගකීම් දරා ඇත.පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඒ මහතා ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ බදු ප්‍රතිපත්ති වැනි විෂය පථයන් ගණනාවක දීර්ඝකාලීන අත්දැකීම් සහිත නිලධාරියෙකි. ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ ආර්ථික පාලනය පිළිබඳ උපායමාර්ගික මඟපෙන්වීම් ලබාදීමේදී ඔහු මීට පෙර කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. රාජ්‍ය සේවා කාලය තුළ ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි ප්‍රධාන ආයතන රැසක ඔහු විවිධ තනතුරු හොබවා ඇත.ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා මෙරට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල රැසකින් ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති විද්වතෙකි. රුහුණ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් සපුරා තිබේ. මීට අමතරව ජපානයේ සංවර්ධන අධ්‍යයන ආයතනයෙන්ද (IDEAS) විශේෂ පුහුණුවක් ලබා ඇති ඔහු, භෞතික විද්‍යාව හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ නිලධාරියෙකි.අධ්‍යාපන ක්ෂේත්‍රයටද විශාල දායකත්වයක් ලබාදී ඇති අපොන්සු මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසත් කටයුතු කර ඇත. ව්‍යාපෘති කළමනාකරණය සහ සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි සිසුන්ට දේශන පවත්වමින් ඔහු සිය දැනුම බෙදා දී තිබේ. මෙවැනි පුළුල් දැනුමකින් හා පරිපාලනමය පළපුරුද්දකින් හෙබි නිලධාරියෙකු බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීම එම ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වනු ඇත.
























