දිවයින පුරා නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීමට මුල්ගල් තැබේ

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්’ ව්‍යාපෘතිය යටතේ නව මධ්‍යස්ථාන දහයක් සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුවිය. කළුතර දකුණ ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට සමාන්තරව බලංගොඩ, මොණරාගල, අක්මීමණ, හම්බන්තොට, දෙහිඕවිට, සූරියපාළුව, හිඟුරක්ගොඩ, ගැමුණුපුර සහ පිටවල යන ප්‍රදේශවලද නව මධ්‍යස්ථාන ඉදිකිරීමට කටයුතු යොදා ඇත.​එක් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇති අතර, අද ආරම්භ කරන ලද මධ්‍යස්ථානවල වැඩකටයුතු දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව, ඉදිරි ඔක්තෝබර් මාසයේදී තවත් මධ්‍යස්ථාන 25ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, මේ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 1500ක් සහ ලබන වසරේ රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇත.​නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ක්‍රියාත්මක වන මෙම සුවතා මධ්‍යස්ථාන හරහා බෝ නොවන රෝග පාලනය කිරීම, මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සහ පෝෂණ ඌණතා මඟහරවා ගැනීම වැනි වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට අපේක්ෂා කෙරේ. දැනටමත් රට තුළ සුවතා මධ්‍යස්ථාන 39ක් ක්‍රියාත්මක වන අතර, පුරවැසියා කේන්ද්‍ර කරගත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ප්‍රජාවට වඩාත් සමීප කිරීම මෙම පුළුල් ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ වේ.​මෙම සමාරම්භක අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ. රෝග නිවාරණයට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට මුල්තැන දෙමින් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවට කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *