දිවයින පුරා පෞද්ගලික රෝහල් සහ රසායනාගාර ඉලක්ක කර විශේෂ වැටලීම්

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ මෙහෙයුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් දියත් කර ඇත. මෙම මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි වැටලීම් 52ක් සිදු කර ඇති අතර, එහිදී ප්‍රධාන පෙළේ වෛද්‍ය ආයතන කිහිපයකම බරපතළ අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට නිලධාරීන් සමත් විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය මත මෙම පරීක්ෂාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.​මෙම වැටලීම්වලදී රෝගීන්ගේ පරීක්ෂණ සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ රසායනාගාර ද්‍රව්‍ය, උපකරණ සහ රසායනික ද්‍රාවණ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ කට්ටල, ඩෙංගු පරීක්ෂණ කට්ටල සහ හෘද රෝග සඳහා භාවිතා කරන ජෙල් වර්ග ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක්ම කල් ඉකුත්ව තිබියදී භාවිතයට ගෙන ඇති බව තහවුරු වී තිබේ. ඇතැම් රසායනාගාරවල භාවිතයට සුදුසු ද්‍රව්‍ය සමඟම කල් ඉකුත් වූ ද්‍රව්‍ය ගබඩා කර තිබීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම පිළිබඳව බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.​අනවසරයෙන් හා නීති විරෝධීව ගබඩා කර තිබූ මෙම ද්‍රව්‍ය සියල්ලම විමර්ශන නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇති අතර, අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත. මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් ක්‍රියාත්මක වන කිසිදු ආයතනයකට සහනයක් ලබා නොදෙන බවත්, ඉදිරියේදීත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *