දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ඊයේ (25) දිනයේදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 490 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුමේදී ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් 26,868 දෙනෙකු පරික්ෂාවට ලක් කර ඇති අතර, ඉන් සෘජු අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 24 දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.මීට අමතරව, නීතියෙන් මඟහැර සිටි වරෙන්තුකරුවන් 228 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 148 දෙනෙකුද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, එහිදී බීමත් රියදුරන් 37 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 92 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.තවද, අනෙකුත් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,036 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම අරමුණු කරගත් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



























