දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයන් 50 දෙනෙකු පමණ අකාලයේ ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙලෙස මියයන පිරිසෙන් බහුතරයක් පවුල්වල ප්‍රධාන ජීවනෝපාය සපයන පියවරුන් සහ ස්වාමිපුරුෂයන් වීම විශේෂයකි. දුම්වැරදි භාවිතය නිසා වැළඳෙන පිළිකා, හෘදයාබාධ සහ විවිධ ශ්වසන රෝග හේතුවෙන් වසරකට මෙරටින් අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව 18,000කට අධිකය.මෙම අකල් මරණ හේතුවෙන් පීඩාවට පත්වන පවුල්වල බිරින්දෑවරුන් සහ දරුවන් දැඩි සමාජීය මෙන්ම මූල්‍යමය අර්බුද රැසකට මුහුණ දෙන අතර, එය සමස්ත පවුල් සංස්ථාවේ සහ රටේ ආර්ථිකයේ බිඳවැටීමටද සෘජුවම බලපායි. දුම්වැටි භාවිතය යනු හුදෙක් පුද්ගලික සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමස්ත සමාජයම වෙළාගත් ඛේදවාචකයක් බව පෙන්වා දෙන විශේෂඥයන්, තමන්ගේ සහ පවුලේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම මාරක පුරුද්දෙන් කඩිනමින් මිදීමේ ඇති අත්‍යවශ්‍යතාව දැඩිව අවධාරණය කර සිටී.



























