අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරත වීම සහ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පවතින නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය. ඒ අනුව, මන්ත්‍රීවරුන්ට අමතරව රොෂාන් අලි, ධනිෂ් අලි, අමල් සාලින්ද (හෙවත් ආමි අමිල), උදයංග කුමාර සහ කොස්වත්තේ මහානාම හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙම වරෙන්තු නිකුත් කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන්ටද නොතීසි නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා නඩුව දෙසැම්බර් 4 වනදා දක්වා කල් තැබීය.මෙම නඩුවේ සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව කොටුව පොලීසිය විසින් චෝදනා ගොනු කර ඇති අතර, ඉන් පුද්ගලයන් 13 දෙනෙකු අද දිනයේ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුන් අතර වසන්ත මුදලිගේ, ඇන්තනි වැරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු පිරිසක් වෙති. අධිකරණ නියෝග නොතකා විරෝධතා පැවැත්වීම සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ බලහත්කාරය පෑම වැනි චෝදනා මත මෙම පිරිසට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.























