දිවයින පුරා ඩෙංගු රෝගීන් ඉහළ ගොස් ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන ආකාරයට, මදුරු කීටයන් බෝවීමේ වැඩි අවදානමක් පවතින බවට හඳුනාගත් පළාත් හතක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ.මේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 74 දෙනෙකු මියගොස් ඇත. මීට අමතරව, සැප්තැම්බර් මාසයේ පළමු දින 13 තුළ පමණක් රෝගීන් 2,146 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව වාර්තා වේ.දිස්ත්‍රික් මට්ටමින් ගත් කල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි (20,742). ඊට අමතරව කොළඹ, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන අදාළ ප්‍රදේශවල දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.



























