2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු සාපරාධී රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විසින් සිය වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කරන ලදී. ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය නිමා කරමින් තීන්දුව ලබාදීම සඳහා අදාළ දිනය නියම කළේය.මීට සමගාමීව, එම චෝදනාවලටම ලක්ව සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ විභාග කටයුතු ද ඉකුත් සිකුරාදා අවසන් කෙරිණි. ඒ අනුව, එම නඩුවේ ද තීන්දුව ද ජූලි මස 31 වනදාම ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.



























