දේශීය වෙළෙඳපොළේ ඇති දියර ආහාර සහ පැණි බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් වර්ගීකරණය කරන වර්ණ සංකේත ක්‍රමවේදය තවදුරටත් දැඩි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත ක්‍රියාත්මක කළ මෙම නව සංශෝධනයට අනුව, මින් පෙර පැවති සීනි මට්ටම් සීමාවන් පහළ දමා ඇත. ඒ අනුව රතු වර්ණයෙන් දැක්වෙන ඉහළ සීනි ප්‍රතිශතය මිලිලීටර් 100කට ග්‍රෑම් 11 සිට 8 දක්වා අඩු කර ඇති අතර, ඇම්බර් වර්ණය සඳහා ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වූ පරාසයක්ද, කොළ වර්ණය සඳහා ග්‍රෑම් 2.5ට අඩු සීමාවක්ද නියම කර තිබේ.මෙමඟින් පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා පාන වර්ගවල අඩංගු සීනි ප්‍රමාණය වඩාත් පැහැදිලිව හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, නිෂ්පාදන ඇසුරුම් මත වර්ණ ලේබල ප්‍රදර්ශනය කිරීම සඳහා නව තාක්ෂණික ප්‍රමිතීන් ද හඳුන්වා දී ඇත. විශේෂයෙන් වීදුරු බෝතල් වැනි මුද්‍රණ ඉඩකඩ සීමිත ඇසුරුම් සඳහා විකල්ප ලාංඡන භාවිත කිරීමට අවසර දී ඇති අතර, සෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි නොකරන ව්‍යාපාරික මට්ටමේ (B2B) ආහාර නිෂ්පාදන සඳහා ද වෙනම විශේෂ විධිවිධාන පනවා තිබේ.ලේබල්කරණයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ නැංවීම මෙම නව නීති රීතිවල ප්‍රධාන අරමුණක් වේ. මෙමඟින් ජනතාව අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර, රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග පාලනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සෞඛ්‍ය අංශ අපේක්ෂා කරයි.

























