පේරාදෙණිය සරසවියේ නිර්මාතෘ දින සැමරුම සහ විශිෂ්ට ආදි සිසුන් ඇගයීමේ උළෙල උත්කර්ෂවත් අයුරින්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ දින සැමරුම සහ ආදි විද්‍යාර්ථි විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජූලි මස 01 වන දින සරසවි පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආදි සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ. උත්සවයේ ආරම්භයේදී ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ පැළ රෝපණය කිරීම සිදු කෙරුණු අතර, නිර්මාතෘ දින දේශනය පවත්වනු ලැබුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා විසිනි.​මෙහිදී රටට සහ ලෝකයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ආදි විද්‍යාර්ථීන් රැසක් ඇගයීමට ලක් වූ අතර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ද එහිදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූහ. කෘෂිකර්ම, වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ, කලා සහ පශු වෛද්‍ය ඇතුළු පීඨ රැසක් නියෝජනය කරමින් කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විද්වතුන් සහ වෘත්තිකයන් මෙලෙස උපහාරයට පාත්‍ර විය.​මීට අමතරව, පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විශ්වවිද්‍යාලයට සිදු වූ දැඩි හානි හමුවේ, ඉතා කෙටි කලකින් එහි අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කැපවීමෙන් කටයුතු කළ ආදි සිසුන්, වත්මන් ශිෂ්‍ය ප්‍රජාව සහ සරසවි කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදු කිරීම ද මෙම උළෙලේ සුවිශේෂී අංගයක් විය.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *