පෝලිස් විශේෂ මෙහෙයුමකින් භූමිතෙල් භාවිතයෙන් ධාවනය කළ මගී බස් රථ 100ක් හඳුනා ගැනේ

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන මගී බස් රථ කිහිපයක් ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ධාවනය කරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත දියත් කළ විශේෂ මෙහෙයුමකින් එවැනි බස් රථ 100ක් පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්. පී. ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් දියත් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි. හඳුනාගත් බස් රථවලට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර, තවත් බස් රථවලින් ලබාගත් ඉන්ධන සාම්පල පරීක්ෂණ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත යොමු කර තිබේ. එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු එම බස් රථවලට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත්, ඉදිරියටත් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. තවද, බස් රථවල භාවිතය සඳහා කිසිදු ආකාරයකින් භූමිතෙල් නිකුත් නොකරන ලෙසත්, අසාමාන්‍ය ලෙස භූමිතෙල් මිලදී ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඔහු ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,241

Leave A Reply

Your email address will not be published. Required fields are marked *