බස්නාහිර ඩෙංගු මර්දනයට දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹෙයි

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක, බස්නාහිර පළාතේ හඳුනාගත් අධි අවදානම් කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මර්දන වැඩපිළිවෙළක් අද (05) සිට ක්‍රියාත්මක වේ. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බැවින්, වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා මෙම හදිසි පියවර ගෙන ඇත.​කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි සිදුකෙරෙන මෙම විශේෂ මෙහෙයුම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් එක්ව සිටිති. මෙහිදී කොළඹ මහනගර සභා බලප්‍රදේශය, මහරගම, කඩුවෙල, බියගම, කැලණිය, වත්තල, මීගමුව, පානදුර, හොරණ සහ කළුතර ඇතුළු ප්‍රධාන නාගරික හා අර්ධ නාගරික කලාප රැසක පරිශ්‍ර පරීක්ෂා කිරීම් සහ වැටලීම් දැඩි කිරීමට නියමිතය.​ඉදිරි සති කිහිපය තුළ සෞඛ්‍ය පද්ධතියට එල්ල විය හැකි දැඩි පීඩනය වළක්වා ගැනීම සඳහා මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බලධාරීන් පවසයි. මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා සියලු රාජ්‍ය නොවන සංවිධාන සහ මහජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන් අවට වටපිටාව පිරිසිදුව තබාගනිමින් උපරිම සහයෝගය ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *