ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නමැත්තා දිවයිනට රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට නීතියේ රැකවරණය යටතට ගෙන ඇත. කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන රැසක්, කප්පම් ගැනීම් ඇතුළු බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන ද නිකුත් කරනු ලැබ තිබුණි. දිවයිනට පැමිණීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත භාරදී ඇත. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ.



























