දේශීය බේකරි කර්මාන්තය සඳහා මෙරට කාබනික කෘෂි නිෂ්පාදන බහුලව භාවිත කිරීමෙන් දේශීය ගොවි ජනතාව ශක්තිමත් කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ද විශාල දායකත්වයක් සැපයිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. කොළඹදී පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් ඇය කියා සිටියේ, වත්මන් ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය හමුවේ බේකරි ක්ෂේත්‍රය හුදු තිරිඟු පිටි නිෂ්පාදනවලට පමණක් සීමා නොවී ජාතික ආර්ථිකයේ ප්‍රධාන ගම්‍යතා බලවේගයක් බවට පත්විය යුතු බවයි. එහිදී ආහාරවල රසයට පමණක් මුල් තැන නොදී, කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර සෞඛ්‍යාරක්ෂිත හා පෝෂණීය නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ වගකීම ද ඇය පෙන්වා දුන්නාය.ගෝලීය වශයෙන් පවතින සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවණතාව ජය ගැනීම සඳහා සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය යොදාගනිමින් අගය එකතු කළ නව බේකරි නිෂ්පාදන බිහිකිරීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය. විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් දේශීය කාබනික කෘෂි අමුද්‍රව්‍ය ඇසුරෙන් සකසන ආහාර සැපයීම, සංචාරක කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයට මෙන්ම ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව ද ඇය අවධාරණය කළාය.දේශීය ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් රජයේ ඇති සූදානම ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවතින ගැටලු අවම කිරීමටත්, නව තාක්ෂණය වැළඳගැනීම සඳහා සහනදායී ණය පහසුකම් මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමටත් පියවර ගන්නා බව පැවසුවාය. මීට අමතරව, ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන්ට ස්ථාවර වෙළෙඳපොළ සම්බන්ධතා ගොඩනඟා දීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය හරහා විශේෂ පුහුණු වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ද ඇය වැඩිදුරටත් සිහිපත් කළාය.



























