කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (03) රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරන බව පොලිසිය පවසයි. අද රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පෙරහර ප්‍රධාන මාර්ගය ඔස්සේ ගොස්, ලිහිණියා හන්දියෙන් කොටකෙතන මාර්ගයට හැරී නැවත විහාරස්ථානය වෙත ගෙවැදීමට නියමිතය. මෙම කාලය තුළ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් පමණක් සැහැල්ලු වාහන සඳහා විවෘතව තැබේ.මේ හේතුවෙන් බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව, ඇඹිලිපිටියේ සිට කොළඹ දෙසට ධාවනය වන වාහන කහවත්ත යායින්න හන්දියෙන් වමට හරවා, මනන්දොළ, නිවිතිගල සහ තිරිවානාකැටිය ඔස්සේ රත්නපුර-කොළඹ මාර්ගයට පිවිසිය හැකිය.රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය බලා යන වාහන සඳහා පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය භාවිත කළ හැක. එසේත් නැතහොත් කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් ඕපනායක දෙසට හැරී, බලංගොඩ සහ පල්ලේබැද්ද හරහා ඇඹිලිපිටිය දෙසට ගමන් කිරීමට ද හැකියාව පවතී.



























