මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට

​ශ්‍රී ලංකා විදුලිබල පද්ධතියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ (BESS) මුල්ම මෙගාවොට් 20ක ධාරිතාව කොළඹ වරාය වෙත පැමිණ තිබේ. ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම පුළුල් ව්‍යාපෘතිය, දිවයින පුරා උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි පළමු පියවර යටතේ ලැබුණු ධාරිතාව නව ගාල්ල සහ මාතර උපපොළවල් වෙත සම්බන්ධ කිරීමට කටයුතු යොදා ඇත.​මෙම ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 10 බැගින් වූ උප-ව්‍යාපෘති 16ක් දිවයිනේ ප්‍රධාන විදුලි උපපොළවල් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කෙරේ. ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, සබරගමුව, උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද යන සියලුම පළාත් ආවරණය වන පරිදි පන්නිපිටිය, හොරණ, කොස්ගම, පානදුර, අම්බලන්ගොඩ, හම්බන්තොට, කිරිබත්කුඹුර, කුරුණෑගල, බෝලවත්ත, මාදම්පේ, පන්නල, චුන්නාකම්, කිලිනොච්චි, අම්පාර, මහියංගනය සහ මොනරාගල යන ප්‍රදේශවල මෙම නවීන තාක්ෂණය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.​මීට අමතරව, ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියරයන් යටතේ තවත් මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධතීන් පද්ධතියට එක් කිරීමට නියමිතය. ඒ සඳහා වන මිල ගණන් කැඳවීම් ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන අතර, මෙමඟින් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *