ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම උපත් ආබාධ සහිත දරුවන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් බිහිවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි. ලෝක මුගුරුපාද දිනය (Clubfoot Day) නිමිත්තෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ උපතින්ම පාද ආබාධ සහිතව බිහිවන දරුවන් සුවපත් කිරීම සඳහා දැනටමත් සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද ක්‍රියාත්මක වන බවයි.එහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ස්කෑන් පරීක්ෂණ මඟින් බරපතළ උපත් ආබාධ සහිත බව හඳුනාගන්නා කළලයන්, මවගේ පූර්ණ කැමැත්ත මත ගබ්සා කිරීමට (නිමා කිරීමට) හැකි වන පරිදි මෙරට නීති පද්ධතිය සකස් විය යුතු බවයි. වත්මන් නීතිමය රාමුව තුළ පවතින සීමාවන් හේතුවෙන් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන පවුල් දැඩි මානසික හා සමාජීය දුෂ්කරතාවලට පත්වන බව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මෙම විශේෂ මාධ්‍ය හමුවේදී උපතේදීම සිදුවන ශාරීරික විකෘතිතා කලින් හඳුනාගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා ලබාදිය හැකි නවීන සායනික ප්‍රතිකාර පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. නිසි කලට ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මෙවැනි දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති හැකියාව ද මෙහිදී පෙන්වා දුන්නේය.



























