රජයේ රෝහල්වල හෘද රෝග ප්‍රතිකාර පුළුල් කරමින් නව කැතීටකරණ යන්ත්‍ර 16ක්

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කරමින්, දිවයින පුරා පිහිටි ප්‍රධාන රජයේ රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 3,103කි. මෙමගින් දැනට රෝහල් පද්ධතියේ පවතින යන්ත්‍ර සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන අතර, හෘද රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම රජයේ මූලික අරමුණ වී ඇත.​මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජයිකා (JICA) ආයතනය මගින් පිරිනමනු ලබයි. ඒ අනුව රුපියල් මිලියන 715ක අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මඩකළපුව, රත්නපුර, බදුල්ල සහ ගාල්ල රෝහල්වලට යන්ත්‍ර 4ක් හිමි වේ. ආසියානු සංවර්ධන බැංකු ආධාර මත රුපියල් මිලියන 1,188ක වියදමින් කොළඹ, මහනුවර, යාපනය සහ කළුබෝවිල රෝහල්වලට යන්ත්‍ර 6ක් ලබා දෙන අතර, ජයිකා ආධාර යටතේ රුපියල් මිලියන 1,200ක් වැය කරමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය රෝහල් වෙත තවත් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමට නියමිතය.​හෘද කැතීටකරණ යන්ත්‍රයක් යනු හෘදයාබාධ හඳුනා ගැනීම සඳහා ඇන්ජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණ සිදුකිරීමටත්, රුධිර නාලවල අවහිරතා ඉවත් කර ස්ටෙන්ට් (Stent) යෙදීමට සහ පේස්මේකර් (Pacemaker) වැනි උපකරණ බද්ධ කිරීමට භාවිතා කරන අත්‍යවශ්‍ය වෛද්‍ය තාක්ෂණයකි. දැනට කොළඹ, මහනුවර, ගාල්ල ඇතුළු රෝහල් කිහිපයක මෙම සේවාව පැවතියද, නව යන්ත්‍ර ස්ථාපිත කිරීමත් සමඟ දිවයිනේ සෙසු ප්‍රදේශවල රෝගීන්ට ද තමන්ට සමීපතම රෝහලකින් කඩිනම් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව උදා වේ.​මෙම යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ රජයේ රෝහල්වල හෘද රෝග ප්‍රතිකාර සඳහා පවතින දිගු පොරොත්තු ලේඛන අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම හෘදයාබාධවලට ලක්වන රෝගීන් සඳහා පැය 24 පුරාම හදිසි ප්‍රතිකාර සේවා සහතික කිරීමටත්, හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මෙය වාර්ෂික හෘද රෝගී සත්කාරක ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කරන දැවැන්ත ආයෝජනයකි.​සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවයෙන් යුත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු යොදා ඇත. නූතන වෛද්‍ය තාක්ෂණය රජයේ රෝහල් පද්ධතියට එක් කිරීම හරහා සාමාන්‍ය ජනතාවට පෞද්ගලික අංශයට නොගොස් නොමිලේම ඉහළම ප්‍රමිතියේ හෘද සත්කාර ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂී වාසියයි.

What's your reaction?

Related Posts

1 of 1,139

Leave A Reply

Your email address will not be published. Required fields are marked *