කපිල චන්ද්‍රසේන නඩුවේ ව්‍යාජ ඇපකරුවන් යළි රිමාන්ඩ්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඇප වීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ඔවුන්ව හඳුන්වා දුන් බව කියන ආරියතිස්ස ද සිල්වා යන සැකකරුවන් මෙලෙස යළි රිමාන්ඩ් කරනු ලැබීය.​සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන් ඇප තැබීම සඳහා ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එහිදී හෙළි වී ඇත්තේ පළමු සැකකරු පසුගිය ජනවාරි සිට මැයි දක්වා සහතික 10ක් ද, දෙවන සැකකරු සහතික 07ක් ද ලබාගෙන ඇති බවයි. මෙම සහතික සියල්ල පදිංචිය තහවුරු කිරීම සඳහා ලබාගත් ඒවා බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේය.​මෙම පුද්ගලයන් දීර්ඝ කාලයක සිට මෙලෙස වෘත්තීය මට්ටමින් විවිධ සැකකරුවන් වෙනුවෙන් ඇප තැබීමේ කටයුතුවල නිරතව ඇති බවට පොලීසිය සැක කරයි. විශේෂයෙන්ම මොවුන් කපිල චන්ද්‍රසේන මහතාගේ කිසිදු ඥාති සබඳතාවක් නොමැති පිරිසක් බවත්, ව්‍යාජ තොරතුරු මත අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත.​අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට පදිංචිකරුවන් වන මොවුන්, සංවිධානාත්මක ලෙස මෙවැනි කටයුතුවල නිරත වන්නේද යන්න පිළිබඳව ද පොලිස් අවධානය යොමුව තිබේ. ග්‍රාම නිලධාරී සහතික අවභාවිත කරමින් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.​අද දින ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණ තවදුරටත් සිදුකරන බැවින් සැකකරුවන් ලබන සතිය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මෙම සිද්ධියත් සමඟ අධිකරණ පද්ධතිය තුළ ඇපකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,139

Leave A Reply

Your email address will not be published. Required fields are marked *