රියදුරු බලපත්‍ර සඳහා නව දඩ ලකුණු ක්‍රමයක් ලබන සැප්තැම්බරයේ සිට

රට තුළ සිදුවන මාර්ග අනතුරු අවම කර රියදුරු විනය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, රියදුරු බලපත්‍ර සඳහා වන නව දඩ ලකුණු ක්‍රමය (Demerit Point System) එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. පසුගිය වසරේ සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 2,750 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය යතුරුපැදිකරුවන් සහ පදිකයන් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා හඳුන්වා දෙන නව ක්‍රමවේදයෙහි මූලික අදියර අගෝස්තු 31 වන විට ඇරඹීමට නියමිත අතර, එහි පූර්ණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය 2027 මාර්තු 31 දක්වා අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.​මේ වන විට මෙම වැඩසටහනට අදාළ ඩිජිටල් යටිතල පහසුකම් සහ පරිපාලනමය රාමුව සකස් කරමින් පවතින බව රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම වෙනුවෙන් විශේෂ කමිටු දෙකක්ද පත් කර ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හරහා මේ සඳහා අවශ්‍ය මෘදුකාංග සහ ඩිජිටල් යෙදවුම් (Apps) නිර්මාණය කෙරෙන අතර, එමඟින් රියදුරන්ට තමන්ගේ තොරතුරු සහ ඉතිරිව ඇති ලකුණු ප්‍රමාණය පිළිබඳව පහසුවෙන්ම සොයා බැලීමේ අවස්ථාව හිමි වේ.​නව පද්ධතිය යටතේ සෑම රියදුරෙකුටම ආරම්භයේදී උපරිම ලකුණු 24ක ප්‍රමාණයක් හිමිවන අතර, ඔවුන් අතින් සිදුවන මාර්ග නීති උල්ලංඝනය කිරීම්වල ස්වභාවය අනුව එම ලකුණු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරනු ලැබේ. මෙම නියමු ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත රියදුරු කාණ්ඩයකට හෝ එක් ප්‍රදේශයකට පමණක් සීමා නොකර, දිවයින පුරා තෝරාගත් කලාප කිහිපයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,187

Leave A Reply

Your email address will not be published. Required fields are marked *