ලංගම ඩිපෝ පාඩු ලැබීමට හේතු සහ පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඇතැම් ඩිපෝ පාඩු ලැබීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඒවා ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා තිබීම හේතුවෙන් ධාවනය වන බස් රථ සංඛ්‍යාව සීමිත වීම බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට අමතරව ධාවනය වන බස් රථවල පවතින දුර්වලතා නිසා නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමද මීට තවත් හේතුවකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වඩාත් විධිමත් මෙහෙයුම් සැලැස්මක් රජය විසින් මේ වන විටත් සකස් කරමින් පවතී.​මේ අතර මණ්ඩලයේ පවතින සේවක පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව ජනවාරි 31 වන විට පැවති රියදුරු පුරප්පාඩු 1,034 ක ප්‍රමාණය පසුගිය බදාදා වන විට 647 දක්වාත්, කොන්දොස්තර පුරප්පාඩු 1,022 ක ප්‍රමාණය 770 දක්වාත් අඩු කර ගැනීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් කාර්මික නිලධාරීන් 429 කගේ සහ වැඩපොළ අධීක්ෂකවරුන් 59 කගේ පුරප්පාඩු සංඛ්‍යාවේ මෙතෙක් වෙනසක් සිදුව නොමැති බව ඔහු සඳහන් කළේය.​දැනට ඉතිරිව පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනම් කිරීමට පියවර ගන්නා අතර, සේවකයන් ස්ථිර කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් අවසන් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම ගැටලුවලට ස්ථිර විසඳුම් සෙවීම සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද රජය සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,184

Leave A Reply

Your email address will not be published. Required fields are marked *