සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ මූල්‍ය අවභාවිතයකට අදාළව, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 18ක දඩයක් නියම කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.මෙහිදී විත්තිකරුවාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා හතරටම ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා, එක් නඩුවකට වසර හතර බැගින් වන පරිදි මෙම සිරදඬුවම නියම කළේය. 2006 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහා කුලී පදනම මත වාහන තුනක් ලබාගැනීමේදී, රජයට පාඩු සිදුවන අයුරින් සහ අදාළ වාහන හිමිකරුවන්ට අයුතු වාසි සහගත ලෙස කටයුතු කිරීම ඇතුළු දූෂණ චෝදනා යටතේ මොහුට එරෙහිව මෙම නඩු පවරා තිබුණි.රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රජයට පාඩු සිදුකිරීමේ “දූෂණය” නමැති වරද සිදුකර ඇති බව අධිකරණය හමුවේ සාක්ෂි සහිතව සනාථ වීමත් සමඟ මෙම දඬුවම් නියම විය. ඒ අනුව, වෙන් වෙන් වශයෙන් ලැබුණු සිරදඬුවම්වලට අමතරව අධිකරණය නියම කළ රුපියල් ලක්ෂ 18ක දඩ මුදල ද විත්තිකරු විසින් ගෙවිය යුතු වෙයි.

























