ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය ජාලයක් වන “Big 7 Travel” විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම දූපත් 50 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ස්වභාවික සුන්දරත්වය, පොහොසත් ජෛව විවිධත්වය, ඓතිහාසික සංස්කෘතික උරුමය මෙන්ම සංචාරකයින්ට විඳගත හැකි විවිධාංගීකරණය වූ අත්දැකීම් පදනම් කර ගනිමින් මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.මෙම නවතම ඇගයීමට අනුව ලෝකයේ ප්‍රමුඛතම දූපත් 10 අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති අතර, ප්‍රංශ පොලිනීසියාවේ මෝරියා (Mo’orea) දූපත දෙවන ස්ථානයත්, යේමනයේ සොකොට්‍රා (Socotra) දූපත තෙවන ස්ථානයත් දිනාගෙන ඇත. පෘතුගාලයේ මැඩෙයිරා, ඉක්වදෝරයේ ගලපගෝස්, බහමාස්හි ග්‍රේට් එක්සුමා, සීෂෙල්ස්, අයර්ලන්තයේ අචිල්, තායිලන්තයේ කොහ් ලිපේ සහ ග්‍රීසියේ මිලෝස් යන දූපත් පිළිවෙළින් ඊළඟ ස්ථානවල පසුවේ.දිනෙන් දින ගෝලීය සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය ශීඝ්‍රයෙන් දිනාගනිමින් පවතින ශ්‍රී ලංකාව, ලෝක දූපත් සංචාරක කර්මාන්තය තුළ නව පෙරළියක් සිදුකරමින් නවතම මිණුම්දණ්ඩක් බවට පත්ව ඇති බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.



























