යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියමව සිටි සිරකරුවෙකු බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන ඇත. පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි මෙම සිරකරු, යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (24) රාත්‍රී කාලයේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.2015 වසරේදී මුළු රටම කම්පනයට පත් කළ මෙම බිහිසුණු අපරාධයට සම්බන්ධ ප්‍රධාන විත්තිකරුවන්ට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඬුවම නියම කර තිබුණි. එම දඬුවම අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය මැයි 6 වැනිදා අදාළ මරණ දඬුවම ඒකමතිකව තහවුරු කළේය.අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, මරණ දඬුවම තහවුරු වූ ජෙයකුමාර් ඇතුළු විත්තිකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිට අධිකරණයට සම්බන්ධ වී සිටියහ. එම නඩු තීන්දුවේදී සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබුණි.



























