ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකා විනිසුරු සංගමය ඒකමතිකව විරෝධය පළ කර තිබේ. කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී අද (11) පැවැති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමකදී මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පියවරට එරෙහිව විශේෂ යෝජනාවක් ද සම්මත කරගෙන ඇත.විවිධ බාධාකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද කැඳවා තිබූ මෙම විශේෂ හමුව සඳහා විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනාම මෙම වයස් සීමාව වැඩි කිරීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. මෙම තීරණාත්මක රැස්වීම මෙහෙයවනු ලැබුවේ විනිසුරු සංගමයේ උප සභාපති විනිසුරු චාමර වික්‍රමනායක සහ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ යන මහත්වරුන් විසිනි.මේ අතර සංගමය තුළ ඇති වූ මෙම නවතම ප්‍රවණතාවත් සමඟ ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ සභාපති ධුරය දැරූ පසන් අමරසේන මහතා සිය තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව ද අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.























