විමල් වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ වෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ තීන්දුවකට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පනවා තිබූ රුපියල් මිලියනයක වන්දි මුදල ගෙවන ලෙස වාණිජ මහාධිකරණය නියම කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ අදාළ වන්දි නියෝගය නීත්‍යානුකූලව හා කරුණු නිසි ලෙස සලකා බලා ලබා දී ඇති බැවින් එය වෙනස් කිරීමට හේතුවක් නොමැති බවයි.​කෙසේ වෙතත්, පෙර ලබා දී තිබූ තහනම් නියෝගයක සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත. අදාළ පොත මුළුමනින්ම මුද්‍රණය කිරීම, විකිණීම සහ බෙදාහැරීම තහනම් කරමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ නියෝගය ලිහිල් කරමින්, එම තහනම ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන ඇතුළත් කොටස්වලට පමණක් සීමා කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ අනුව පොතේ සෙසු අන්තර්ගතයන් සඳහා පනවා තිබූ සමස්ත තහනම ඉවත් කෙරේ.​මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. ජනතා විමුක්ති පෙරමුණ සතු පක්ෂ ලේඛන කිහිපයක් කිසිදු පූර්ව අවසරයකින් තොරව මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීම හරහා තමන්ට හිමි බුද්ධිමය දේපළ අයිතිය අහිමි වී ඇති බව පෙන්වා දෙමින් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම නීතිමය පියවර ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,228

Leave A Reply

Your email address will not be published. Required fields are marked *