ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ ජීවිත කතාව ඇතුළත් නවතම චරිතාපදාන ග්‍රන්ථය පසුගියදා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එළිදක්වන ලදී. කිත්සිරි අමරතුංග මහතා විසින් රචිත මෙම කෘතිය හරහා හමුදා දිවිය පුරා ඔහු දැක්වූ විශිෂ්ට නායකත්වය, ආයතනික දායකත්වය මෙන්ම රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර පුළුල් ලෙස අනාවරණය කෙරේ.මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජෙනරාල් ජෙරී ද සිල්වා මහතා සහභාගී වූ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ද මීට එක්විය. ඊට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විද්වතුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එකතු වී සිටියහ.විශ්‍රාමික මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ ජාතික සේවය සහ නායකත්ව ගුණාංග අගයමින් සංවිධානය කරන ලද මෙම උත්සවය අතිශය සාර්ථක අයුරින් නිමාවට පත්විය. කෘතිය රචනා කිරීම මඟින් ඔහුගේ සුවිශේෂී වෘත්තීය ජීවිතය මෙන්ම අනාගත පරපුරට ලබාගත හැකි ආදර්ශයන් රැසක් මනාව ඉස්මතු කර තිබේ.



























