සුරතල් සතුන් ඇති කිරීම අපේ සංස්කෘතියේ කොටසක් වුවද, වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සමාජයක් ලෙස අප සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සඳහන් කළේ අද (17) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති “PET EXPO 2026” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම අවස්ථාවේදී වීදි බලු පැටවෙකු නව හිමිකරුවෙකු වෙත භාර දෙමින් අග්‍රාමාත්‍යතුමිය සත්ව සුභසාධන කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.මෙම උත්සවයේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ පන්සල් වැනි පොදු ස්ථානවල සුනඛ සහ බළල් පැටවුන් දමායාම රට තුළ පවතින අවාසනාවන්ත තත්ත්වයක් බවයි. කෙසේ වෙතත්, සත්ව සුභසාධනය වෙනුවෙන් කැබිනට් මණ්ඩලය විසින් මේ වන විට අදාළ පත්‍රිකා අනුමත කර ඇති බවත්, ඒ හරහා සතුන්ගේ ජීවිත යහපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට හැකි වන බවත් ඇය ප්‍රකාශ කළාය.සතුන් සමඟ ඇති ඇසුර දරුවන්ගේ මානසික සංවර්ධනයට සහ ඔවුන් තුළ සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග වර්ධනය කිරීමට අතිශය වැදගත් බවද ඇය සිහිපත් කළාය. ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සංවිධානයෙන් පැවති මෙම අවස්ථාව සඳහා කොළඹ නගරාධිපතිතුමිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.























