යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ගබඩා කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග 27(2) යටතේ කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද ඊට සාපේක්ෂව සහතික මිල ඉහළ නංවා නොමැති බවයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇති මිල සහ රජය ප්‍රකාශ කර ඇති සහතික මිල අතර පරස්පරතාවයක් පවතින බවත්, එම තීරණය ගැසට් නොකිරීම ප්‍රශ්න සහගත බවත් ඔහු සඳහන් කළේය.ගොවිජන එකමුතුව පෙන්වා දෙන පරිදි, නිෂ්පාදන වියදම සහ 30%ක ලාභාංශයක් සැලකිල්ලට ගනිමින් වී කිලෝග්‍රෑමයක මිල රු. 142ක් විය යුතු වුවද, දැනට පවතින වෙළෙඳපොළ මිල රු. 75ත් 90ත් අතර අගයක පවතින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. රජය පවසන පරිදි වී කිලෝග්‍රෑමයකට නිෂ්පාදන පිරිවැයට අමතරව 30%ක ලාභයක් ගොවියාට හිමිවනු ඇති බවට වූ පොරොන්දුව ඉටු වී නැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.එමෙන්ම, මෙවර යල කන්නයේ බලාපොරොත්තු වන අස්වැන්න ප්‍රමාණයට සාපේක්ෂව රජය මිලදී ගැනීමට යෝජනා කර ඇති වී ප්‍රමාණය වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු පැවසීය. වී අලෙවි මණ්ඩලය සතු පැරණි තොග නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ගබඩා පහසුකම් පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවත්, මෑතකදී සිදු කළ සහල් ආනයන හේතුවෙන් දේශීය ගොවියාට සිදුවූ බලපෑම සම්බන්ධයෙන්ද රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.























