වසර හයක දිගු රාජ්‍යතාන්ත්‍රික සේවා කාලයක් සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ඔහුගේ භාර්යාව දිවයිනෙන් නික්ම යාමට සූදානම් වේ. “සමුගනිමු ලංකා” යන තේමාව යටතේ විශේෂ සමුගැනීමේ පණිවුඩයක් නිකුත් කර ඇති ඒ මහතා, තම රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්‍රී ලංකාව තුළ ගත කිරීමට ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කර ඇත.පසුගිය වසර හය තුළ කොවිඩ්-19 වසංගතය, දරුණු ආර්ථික අර්බුදය මෙන්ම විවිධ ස්වභාවික ආපදා හමුවේ වුවද, දෙරට අතර මිත්‍රත්වය නොසැලී පවත්වා ගැනීමට හැකි වූ බව තානාපතිවරයා සිහිපත් කළේය. ඓතිහාසික රබර්-සහල් ගිවිසුමින් ඇරඹි දෙරටේ සබඳතාව ඉදිරි වසරේදී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන සන්ධිස්ථානයකට ළඟා වන බවද ඔහු පෙන්වා දුන්නේය.ඉදිරියේදී ද වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික, නව බලශක්ති සහ සාගර ආර්ථිකය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට චීනය අපේක්ෂා කරන බව තානාපතිවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජයට, ආගමික නායකයන්ට සහ සමස්ත ජනතාවට ස්තූතිය පුද කළ ඒ මහතා, තමන් කොතැනක සිටියද ද්විපාර්ශ්වික මිත්‍රත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවට ප්‍රකාශ කළේය.























