කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම් උත්සවය ඊයේ (21) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පිරිසක් එක්ව සිටියහ.දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය පිහිටුවීමත් සමඟ ආරම්භ වූ මෙරට ප්‍රජා සෞඛ්‍ය සේවය, අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362කට අධික පුළුල් ජාලයක් දක්වා වර්ධනය වී තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH), පවුල් සෞඛ්‍ය නිලධාරී (PHM) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම ජනතාව සමඟ සෘජු සබඳතා පවත්වමින් මෙම සේවයේ මූලික ශක්තිය වී ඇත.සියවසක් පුරා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ශත සංවත්සර සමරු ග්‍රන්ථය සහ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාව එළිදැක්වීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.මෙම අභිමානවත් ගමන තුළ මාතෘ මරණ සංඛ්‍යාව 2500 සිට 25 දක්වා පහළ දැමීමටත්, සජීව උපත් 1000කට 200ක් පමණව තිබූ ළදරු මරණ සංඛ්‍යාව 05 හෝ 06 දක්වා අවම කර ගැනීමටත් හැකිවී තිබේ. එසේම, මැලේරියා වසංගතයෙන් ලක්ෂයක් මිය ගිය ඉතිහාසයක් ඇති මෙරටින් එම රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමට ලැබීම සුවිසල් සෞඛ්‍ය ජයග්‍රහණයකි.මෑතකාලීනව මතුවූ විවිධ වසංගත සහ ආපදා තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිදු කළ කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සුනිල් කුමාර ගමගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.























