ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන නොමිලේ (Gratis) වීසා ලබාදීමේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව පුද්ගලයින් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙස සංවිධානය වන වන්දනාකරුවන්ට මෙම පහසුකම හිමිවේ. වීසා සේවා සැපයුම් ආයතනය වෙනස්වීම නිසා තාවකාලිකව ඇණහිට තිබූ මෙම සේවාව, නව සේවා සැපයුම්කරුගේ පැමිණීමත් සමඟ නැවත සක්‍රීය වී ඇත.සාමාන්‍ය ක්‍රමවේදයට අමතරව ශ්‍රී ලාංකිකයින්ට e-Visa පහසුකමද භාවිතා කළ හැකි අතර, කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සල් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැක. නව රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 12 ත් 70 ත් අතර සෑම අයදුම්කරුවෙකුම ICAC මධ්‍යස්ථානය වෙත පැමිණ ජෛවමිතික තොරතුරු (Biometrics) ලබාදීම අනිවාර්ය කර ඇති අතර, එහි පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඉක්මන් සේවා ක්‍රමවේදයක්ද සලසා ඇත.මෙම අනුමත ක්‍රමවේදය යටතේ අයදුම් කරන වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අය නොකරන නමුත්, අයදුම්පත් භාරගැනීම සහ සේවා සැපයීම වෙනුවෙන් අදාළ ICAC මධ්‍යස්ථානය වෙත රුපියල් 1,855 ක සේවා ගාස්තුවක් (Service Fee) පමණක් ගෙවිය යුතු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.























