දරුවන් මෙන්ම වැඩිහිටියන් රැකබලා ගැනීම යනු පවුලක් විසින් පමණක් තනිව උසුලාගත යුතු පෞද්ගලික වගකීමක් නොව, එය මුළු සමාජයම එකතු වී භාරගත යුතු යුතුකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබේ.ප්‍රමාණවත් ලෙස සුරැකුම් සේවා ක්‍රම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වැඩි වශයෙන් සිය වෘත්තීය ජීවිතයට සමුදීමට සිදුව ඇත්තේ කාන්තාවන්ට වන බව ඇය පෙන්වා දී ඇත. මෙවැනි තත්ත්වයන් නිසා රටට අත්‍යවශ්‍ය වන වටිනා කුසලතා මෙන්ම ඵලදායී ශ්‍රම බලකායක් ද අහිමි වී යන බව අගමැතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම සහ පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදය එක්ව සංවිධානය කළ වැඩසටහනකදී ඇය මේ බව සඳහන් කළාය. සුරැකුම් ආර්ථිකය සඳහා මුදල් යෙදවීම හුදෙක් සමාජ සුබසාධන කටයුත්තක් ලෙස නොසලකා, එය රටේ අනාගත ආර්ථික වර්ධනය සහ මානව ප්‍රාග්ධනය නංවාලන ප්‍රධාන උපායමාර්ගික ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව ඇය අවධාරණය කළාය.























