හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ නඩුව ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.නඩු විභාගය අතරතුරදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර, ඊට අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. මේ හේතුවෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය කළ ඉල්ලීමට අනුව, මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් 30 වනදා නැවත කැඳවීමට නියම කළේය.හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී, 2023 වසරේදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට උපහාර පිදීමේ උත්සවයකට සහභාගී වීම සඳහා එක්සත් රාජධානිය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව පවරා ඇත. ඒ අනුව, නිල සංචාරයක් ලෙස පෙන්වමින් දින එකහමාරක බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6 ක රජයේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 අගෝස්තු 22 වන දින හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසු, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපූලි ලංකාපුර මහත්මිය පසුව නියෝග කර තිබුණි. හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ මෙම සංචාරය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ආරාධනයක් මත සිදු වූවක් බවත්, ධුරයේ සිටින ජනාධිපතිවරයෙකුගේ නිල සහ පෞද්ගලික සංචාරයන් අතර පැහැදිලි වෙන් කිරීමක් නොමැති බැවින් මෙහිදී කිසිදු රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුව නොමැති බවත්ය.























