හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (ජූලි 03) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ, මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එය මඟහැර සිටීමෙන් පසුවය.මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සුදුසුකම් වෙනස් කිරීම සහ රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සඳහා යොමු කිරීමේ සිද්ධියකට අදාළවය. මෙම විමර්ශනයටම සම්බන්ධයෙන් පසුගිය ජූනි 17 වන දින යෝෂිත රාජපක්ෂ මහතාවද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු අධිකරණය මඟින් ඇප මත මුදා හැරිණි.මීට පෙර ජූනි 16 සහ 22 යන දිනයන්හිදී ප්‍රකාශ ලබා දීමට වසන්ත කරන්නාගොඩ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීම් ලැබී තිබුණද ඔහු ඒ සඳහා පැමිණ තිබුණේ නැත. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අල්ලස් කොමිසම විසින් අද දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



























