හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුගේ මරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති දෙදරු පියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය කනස්සල්ල පළ කර ඇත. මේ පිළිබඳව වහාම අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිඥ සංගමය පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.​මත්ද්‍රව්‍ය විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු හමුවීමට මියයාමට පෙර දින උදෑසන ගිය ඥාතීන් සඳහන් කරන්නේ, ඔහුට දැඩි ලෙස පහර දී ඇති බවට ශාරීරික තුවාල නිරීක්ෂණය වූ බවයි. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි.​අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය හා ශාරීරික සුරක්ෂිතතාව තහවුරු කිරීම රාජ්‍යයේ වගකීමක් බව පෙන්වා දෙන නීතිඥ සංගමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) වගන්තියට අනුව නිසි අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කිරීමට කිසිදු බලධාරියෙකුට හිමිකමක් නොමැති බව අවධාරණය කරයි. අත්අඩංගුවේදී සිදුවන නීති විරෝධී හිංසනයන් හා මරණයන් හෙළා දකින බවත්, මේ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *