ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට පිවිසෙන රත්මලාන කඳවල මාර්ගය හා දෙපස කානු පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බලධාරීන්ට නියෝග කර තිබේ. බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මෙම උපදෙස් ලබා දී ඇත්තේ, වැසි සමයට මෙම මාර්ගය සහ අවට ගොඩනැගිලි නිරන්තරයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව සහ සේවකයන් මුහුණපාන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමිනි.මෙම ජල ගැලීම් තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කානු පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම, වැසි ජලය බසින මාර්ග අවහිර වන ලෙස සිදු කර ඇති අනවසර ඉදිකිරීම් සහ ප්‍රමාණවත් නොවන බෝක්කු පද්ධති බව සාකච්ඡාවේදී අනාවරණය විය. මීට අමතරව, වේරැස්ස ගඟේ සහ කානු පද්ධතියේ උස අතර පරතරය අඩුවීම මෙන්ම භූගත ජල මට්ටම පෘෂ්ඨයට සමීප වීමද මෙම ගැටලුව තවත් තීව්‍ර කර ඇති බව වාර්තා වේ.ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු සහ නඩත්තු කටයුතු පවරී ඇති ආයතන නිවැරදිව හඳුනා නොගැනීම හේතුවෙන් මෙතෙක් පැවැති ප්‍රමාදයන් මඟහරවා ගනිමින්, සියලු රාජ්‍ය ආයතන එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සකස් කර ඇති සැලසුම ක්‍රියාත්මක කරමින්, පාර්ශ්වකාර ආයතනවල දායකත්වයෙන් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමේ පියවර ද ඇතුළත් වන පරිදි සකස් කෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශවාසීන්ට, විදේශ විනිමය උපයන ආයතනවලට සහ සේවාලාභීන්ට විශාල සහනයක් සැලසෙනු ඇත. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

























