විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් අද (23) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතව තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය සහ වත්මන් දේශපාලන තත්ත්වයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කැඳවීමෙන් පැවැත්වෙන මෙම හමුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන, සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකයෝ පිරිසක් සහභාගී වීමට අපේක්ෂිතය.විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, තවත් සමකාලීන දේශපාලන කරුණු කිහිපයක් ද මේ යටතේ සලකා බැලෙනු ඇත. ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර සහයෝගීතාව තහවුරු කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබේ.























