තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට පැමිණි භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් අද (17) උදෑසන දිවයිනට වැඩම කළහ. අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම විශේෂ “සාම පා ගමන” එළඹෙන අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද සහිතව ආරම්භ වන මෙම පා ගමන, අනුරාධපුර පුදබිමේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.මෙම සත්කාර්යය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය හිමිව ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ‘Clean Sri Lanka’ වැඩසටහන ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය ද මීට හිමිවේ. මීට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය වැනි ආයතන ද මෙම වැඩසටහන සමඟ එක්ව සිටියි. දේශීය සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් සාමය තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණක් ලෙස හඳුනාගත හැකිය.පා ගමන අතරතුර මෙරට ඓතිහාසික බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික කලා ශිල්පයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි. මෙය හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, ලාංකීය සංස්කෘතික හර පද්ධතිය සහ සාම්ප්‍රදායික ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන මාධ්‍යයක් ලෙස ද යොදා ගැනීමට නියමිතය.
























