අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්

අපරාධ මැඬලීම සහ මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමේ අරමුණින් පොලිස් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ආරක්ෂක මෙහෙයුම් මාලාවක් මේ වනවිට දිවයින පුරා දැඩි කර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 22,195 දෙනෙකු දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ සැකකටයුතු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 296 දෙනෙකු පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 07 දෙනෙකු ද සිටීම විශේෂත්වයකි.​මෙම මෙහෙයුමේදී අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තු පැහැර හරිමින් සිටි පුද්ගලයින් කොටු කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. එහිදී සාමාන්‍ය වරෙන්තුකරුවන් 43 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 26 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ. මීට අමතරව රටේ පොදු සාමය සුරැකීම වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් තොරතුරු රැස් කරමින් මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.​මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ද මෙම මෙහෙයුම තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු වූ අතර, එහිදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 104 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රථවාහන හැසිරවූ 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,451 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි. මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,097

Leave A Reply

Your email address will not be published. Required fields are marked *