අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරමින් සාම ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළේ සැලකිය යුතු වෙනසක් වාර්තා වී තිබෙනවා. මෙම දේශපාලන තීරණය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යළි නෞකා ගමනාගමනයට අවසර ලැබීමත් සමඟ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමට පියවර ගැණිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.91 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.89 දක්වාත් සීඝ්‍රයෙන් පහත වැටුණි.පසුගිය පෙබරවාරි මාසයේ සිට දෙරට අතර පැවති යුධමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුම බරපතල ලෙස බාධාවන්ට ලක්වූ අතර, එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළේය. කෙසේ වෙතත්, නව එකඟතාවයත් සමඟ ගෝලීය සැපයුම් දාමය යථා තත්ත්වයට පත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති. මෙම ගිවිසුම මගින් පවතින සැපයුම් ගැටළු විසඳීමට මෙන්ම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉදිරියේදී ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට ද ඉඩ ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.ඉදිරියේදී මෙම සාම ගිවිසුම විධිමත් ලෙස අත්සන් කිරීමෙන් අනතුරුව තෙල් මිල තවදුරටත් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඉරානය සිය කැපවීම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් හමුදාමය ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට පසුබට නොවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර තිබේ. කලාපීය දේශපාලන සාධක සහ මෙම ගිවිසුමේ නියමයන් ක්‍රියාත්මක වන ආකාරය මත ඉදිරි ඉන්ධන මිල තීරණය වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන නිරීක්ෂණය කරයි.



























