බදුල්ල කළුපහන ශ්‍රී වීර බෝධි රුක්කාරාමය සහ උඩ කණුගල ශ්‍රී නන්දාරාමය යන උභය විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය කන්දකැටියේ සුමන රතන මාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ. උන්වහන්සේ කලක් ශාසනික මෙන්ම සමාජීය වශයෙන් ද විශාල මෙහෙවරක් ඉටු කළ හිමි නමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් උන්වහන්සේ දැක්වූ දායකත්වය අතිමහත්ය. ‘ගොවිකිරණ’ මාසික පුවත්පත් සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින්, එම ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා උන්වහන්සේ ලබාදුන් මඟපෙන්වීම් ගොවි ජනතාව අතර බෙහෙවින් ඇගයීමට ලක් විය.උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (17) පස්වරුවේ අවිස්සාවේල්ල, අමිතිරිගල නන්දාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ. උන්වහන්සේගේ අපවත්වීම ශාසනයට මෙන්ම කෘෂිකාර්මික හා සමාජීය ක්ෂේත්‍රයන්ට ද සිදු වූ මහත් පාඩුවක් වන අතර, උන්වහන්සේට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමු.



























