ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින්, ආබාධිත පුද්ගලයින්ගේ පහසුව උදෙසා විශේෂයෙන් සැලසුම් කළ “පතුල් පහළ” ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද නිල වශයෙන් ආරම්භ විය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා රෝද පුටු භාවිතා කරන මගීන්ට මෙන්ම ශාරීරික අපහසුතා ඇති පුද්ගලයින්ට කිසිදු බාධාවකින් තොරව ගමන් පහසුව සලසා ගැනීම අවස්ථාව උදාවේ.​තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම බස් රථයක ආසන 33ක් පවතින අතර, එකවර මගීන් 80 දෙනෙකුට ගමන් කිරීමේ පහසුකම් සලසා ඇත. විශේෂයෙන්ම රෝද පුටු භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නවීන උපාංග සහ පහසුකම් මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකුට විශේෂිත පුහුණුවක් ලබා දී ඇති අතර, මගීන්ට සුහදශීලී සහ ආරක්ෂිත සේවාවක් සැපයීම ඔවුන්ගේ මූලික වගකීම වේ.​මෙම බස් රථ සේවාව මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා දිවෙන පරිදි සැලසුම් කර ඇති අතර, මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය කිරීම මෙහි මූලික අරමුණයි. සෞඛ්‍ය සේවා ලබා ගැනීමට යන රෝගීන්ට සහ ආබාධිත ප්‍රජාවට පොදු ප්‍රවාහන සේවය තුළ තිබූ බාධාවන් ඉවත් කරමින්, වඩාත් ගෞරවනීය ප්‍රවාහන සංස්කෘතියක් ගොඩනැගීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

What's your reaction?

Related Posts

1 of 1,106

Leave A Reply

Your email address will not be published. Required fields are marked *