ඇමෙරිකා-ඉරාන සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී

ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව සිදුකරන ප්‍රහාර හමුවේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමේ පසුබිමක, ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා අද (21) ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. දෙපාර්ශ්වය අතර පසුගිය සතියේ අත්සන් තැබූ දින 60ක වලංගු කාලයකින් යුත් අවබෝධතා ගිවිසුම අනුව, ගැටුම් සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ වී තිබේ.​මෙම සාකච්ඡා සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් මහතා දැනටමත් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර, න්‍යෂ්ටික ගැටලුව සහ ලෙබනන සටන් විරාමය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. ඉරානය නියෝජනය කරමින් එරට කතානායකවරයා සහ විදේශ අමාත්‍යවරයාද සාකච්ඡා සඳහා සහභාගී වීමට ස්විට්සර්ලන්තයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.​මේ අතර, ඊශ්‍රායලයේ ප්‍රහාර අත්හිටුවන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවට ඉරානය ඊයේ (20) නිවේදනය කළේය. ලෙබනනයේ පවතින උණුසුම්කාරී වාතාවරණය සහ ඉරානයේ මෙම තීරණය සාම සාකච්ඡා සඳහා බලපෑමක් එල්ල කළ හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වුවද, දෙරට අතර ගැටුම් අවම කර ගැනීම සඳහා අද පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා තීරණාත්මක වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *