මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු නායකයන් විසින් 1946 වසරේ සැප්තැම්බර් 06 වැනි දින ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය අදට (සැප්තැම්බර් 06) වසර 80ක් සපිරයි. ඒ වෙනුවෙන් වන සංවත්සර සැමරුම් උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ උත්සවාකාරයෙන් පවත්වන ලදී.මෙම විශේෂ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයෝ සහ විශේෂ ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උත්සව භූමියට පැමිණීමෙන් අනතුරුව සැමරුම් කටයුතු නිල වශයෙන් ආරම්භ විය.පක්ෂයේ 80 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ප්‍රධාන මහා සමුළුව ඉදිරියට පැමිණෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මේ වන විට පක්ෂය කටයුතු සූදානම් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග තහවුරු කරයි.



























