කුමන ස්වභාවික ආපදා හෝ අභියෝග පැමිණියද රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගලේවල, නාඋල සහ මහියංගණය ඇතුළු ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණ දේශීය රටකජු නිෂ්පාදනය නංවා ආනයන සීමා කිරීමයි.රජය ගොවීන් ජාතික සම්පතක් ලෙස සලකමින් පොහොර සහනාධාර ඇතුළු විශාල ආයෝජනයක් සිදු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ආනයන ආදේශන නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයාගේ යහපත පිළිබඳවද සැලකිලිමත් වෙමින් සහල් ඇතුළු භාණ්ඩ සඳහා සාධාරණ මිලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද ඔහු මෙහිදී සිහිපත් කළේය.කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ, අවම භූමි ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් ලබාගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. පසුගිය වසරේදී මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූවා සේම, ඉදිරියේදී රටකජු ආනයනයද නතර කිරීම සඳහා නිෂ්පාදන වෙළෙඳපොළ සහතික කිරීම සහ අගය එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



























