මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් – ඇමති නලින්ද ජයතිස්ස

​මාලදිවයිනේ මාලේ නුවර පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුව අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, වේගවත් තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය කිරීම රජයකට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බවයි. රජය විසින් පනවන දැඩි නීතිරීති මගින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන ස්වයං නියාමනය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.​විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් දෙස බියෙන් බැලිය යුතු නැති බවත්, ඒවා වගකීම් සහගතව වැළඳ ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් ඔහු අවධාරණය කළේය. අනාගතයට සූදානම් ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවන බව පැවසූ අමාත්‍යවරයා, මෙරට නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විදෙස් නියෝජිතයන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.​මෙම නව ප්‍රතිපත්තිය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම් වන බව පැහැදිලි කළ අමාත්‍යවරයා, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම ඒ අතර වන බව සඳහන් කළේය. හෙට (14) දිනයෙන් අවසන් වන මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල් රැසක නියෝජිතයන් සහභාගී වී සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,139

Leave A Reply

Your email address will not be published. Required fields are marked *