ලෝකයේම ඇගයීමට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට සියවසක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) 100 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ මහජන දැනුවත් කිරීමේ සෞඛ්‍ය පාගමනක් අද (10) පෙරවරුවේ කළුතර නගරය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. 1926 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත ආසියාවේම ප්‍රථම සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කෙරුණු ඓතිහාසික කළුතර මහා නගර සභා පරිශ්‍රයෙන් මෙම පාගමන ආරම්භ වූ අතර, එය කිලෝමීටර හතරක දුරක් ගමන් කරමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ළඟා විය.මෙම ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන අතරතුර බෝ නොවන රෝග වළක්වා ගැනීම, ඩෙංගු ඇතුළු වාහක මඟින් බෝවන රෝග පාලනය, නිසි පෝෂණය, මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය මෙන්ම දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම වැනි වැදගත් සෞඛ්‍ය පණිවිඩ ජනතාව වෙත සන්නිවේදනය කෙරිණි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් උපදෙස් පත්‍රිකා බෙදාහැරීම ද මෙහිදී සිදුවූ අතර, මෙමඟින් රෝග නිවාරණය පිළිබඳව ප්‍රදේශවාසීන්ට පුළුල් අවබෝධයක් ලබාදීමට හැකි විය.ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනිසෙෆ් (UNICEF) ආයතනවල නියෝජිතයන් ද එක්ව සිටියහ. මීට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, ආයතනයේ වර්තමාන හා ආදි විද්‍යාර්ථීන් මෙන්ම ප්‍රදේශයේ විශාල ජනකායක් ද මේ සඳහා සක්‍රීයව දායක වූහ.























