කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම්

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කරමින් වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව මහජනතාවට සමීප කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ නව පහසුකම (POS යන්ත්‍ර) හඳුන්වා දී තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (02) පැවැත්විණි. එහිදී රෙජිස්ට්‍රාර් සහ වාහන ආදායම් බලපත්‍ර අංශවල POS යන්ත්‍ර විවෘත කරමින්, සංකේතාත්මකව පළමු උප්පැන්න සහතිකය සහ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීම සිදු කෙරිණි.​මහජනතාවට වඩාත් කාර්යක්ෂම මෙන්ම පාරදෘශ්‍ය සේවාවක් සැපයීම රජයේ මූලික අරමුණ බව මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නවීන තාක්ෂණය භාවිතයෙන් රාජ්‍ය ආයතන සතු සේවාවන් තවදුරටත් සරල කළ යුතු බව පෙන්වා දුන්නාය. මෙම නව ක්‍රමවේදය හරහා කාර්යාල පරිශ්‍රයන් තුළ සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් මඟහැරී යන අතර, මහජනතාවට වඩාත් කඩිනම් සේවාවක් ලබාගැනීමට ද අවස්ථාව සැලසේ.​කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම මත ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවේ. මේ අනුව මින් ඉදිරියට ඕනෑම අයකුට තමන්ගේ ඩෙබිට් (Debit) හෝ ක්‍රෙඩිට් (Credit) කාඩ්පත් භාවිත කරමින් ආරක්ෂිතව සහ පහසුවෙන් සියලුම ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව පවතී.

What's your reaction?

Related Posts

1 of 1,248

Leave A Reply

Your email address will not be published. Required fields are marked *